
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එංගලන්ත සංචාරය සම්බන්ධයෙන් මතුව ඇති කරුණු කිහිපයක් මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙනවා. එම සංචාරයේදී අභ්‍යන්තර ගමන් කටයුතු සඳහා බ්‍රිතාන්‍ය රජය විසින් වාහන පහසුකම් සපයා තිබියදීත්, ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වාහන කුලියට ගැනීමේ නාමයෙන් පෞද්ගලික සමාගමකට විශාල මුදලක් ගෙවා ඇති බවට චෝදනා එල්ල වී ඇතැයි රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාල ආරංචි මාර්ග පවසනවා. එසේම, හිටපු ජනාධිපතිවරයාගේ එංගලන්ත සංචාරය සම්බන්ධයෙන් සාක්ෂි රැස් කිරීම සඳහා රහස් පොලිස් නිලධාරීන් පස් දෙනෙකු ලන්ඩනය වෙත යොමු කිරීම ද විශාල විවාදයකට ලක් වූ කරුණකි. විශේෂයෙන්ම අන්‍යෝන්‍ය නෛතික සහාය (Mutual Legal Assistance – MLA) ක්‍රමවේදය යටතේ ශ්‍රී ලංකාවේ සිටම අදාළ සාක්ෂි රැස් කර ගැනීමට හැකියාව පැවතුනි රහස් පොලීසිය විසින් ඉදිරිපත් කර ඇති ගණනය කිරීම් අනුව, රනිල් වික්‍රමසිංහ මහතාගේ එංගලන්ත සංචාරය සඳහා රුපියල් මිලියන 16 ක මුදලක් වැය වී ඇති බව සඳහන් වේ. කෙසේ වෙතත්, අභ්‍යන්තර ගමන් සඳහා බ්‍රිතාන්‍ය රජය විසින් වාහන පහසුකම් පවා සපයා තිබියදී මෙතරම් විශාල මුදලක් වැය වූ බව ප්‍රකාශ කිරීම ගැටලු සහගත බව විචාරකයන්ගේ අදහසයි. තවද, මේ දක්වා අනාවරණය වී ඇති තොරතුරු අනුව, රහස් පොලීසිය සඳහන් කරන රුපියල් මිලියන 16 ක මුදල සැබෑ වියදම නොව, සංචාරය සඳහා වෙන් කර තිබූ ප්‍රතිපාදන (allocation) ලෙස සැලකිය හැකි බවට ද මත පළ වී තිබෙනවා. එහෙත් සංචාරය වෙනුවෙන් සැබැවින්ම වැය වූ මුදල් පිළිබඳ සවිස්තරාත්මක ගිණුම් වාර්තාවක් මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැත. රනිල් වික්‍රමසිංහ මහතා එම සංචාරයට සහභාගී වූයේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස බැවින්, ආරක්ෂක නිලධාරීන්, වෛද්‍යවරයා සහ පෞද්ගලික ලේකම්වරිය ඇතුළු නිල පිරිසට අදාළ සියලු වියදම් රජය විසින් දරනු ලැබිය යුතුය. එම පසුබිම තුළ හිටපු ජනාධිපතිවරයාගේ සංචාරය සඳහා පමණක් රුපියල් මිලියන 16 ක පමණ අධික මුදලක් වැය වූ බවට රහස් පොලීසිය විසින් කරුණු දැක්වීම ප්රශ්නකාරී බව හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය පවසනවා.