
නාරම්මල පොලිස් වසමේ හොරොම්බාව ප්රදේශයේදී තීරුබදු නොගෙවා විදෙස් රටකින් ආනයනය කරන ලද බවට සැක කෙරෙන භාණ්ඩ තොගයක් රැගත් කන්ටේනර් රථයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. ඊයේ ( ජූනි14) කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ මෙහෙයුමකදී මෙම වැටලීම සිදුකරනු ලැබුවා. එහිදි මෙම භාණ්ඩ තොගය රැගත් කන්ටේනරය සමග එක් සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41 ක් වන හොරොම්බාව ප්රදේශයේ පදිංචිකරුවෙකි. පොලිස් භාරයට ගත් කන්ටේනර් රථය තුළ තිබී විදෙස් රටක නිෂ්පාදිත මත්පැන් බෝතල් 190ක්, යතුරුපැදි අමතර කොටස්, යතුරුපැදි චැසි 42ක්, යතුරුපැදි එන්ජින් 44ක්, පාපැදි හා පාපැදි කොටස්, ෆෝක් ලිෆ්ට් යන්ත්ර 6ක්, ස්කැවේටර් යන්ත්ර 3 ක් මෙන්ම කෘෂි උපකරණ හා ගෘහ භාණ්ඩ රැසක් සොයාගෙන ඇත. කන්ටේනර් රථය වැඩිදුර පරීක්ෂාවට ලක් කිරීම සඳහා කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට සහාය වශයෙන් කුරුණෑගල සහ පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරුවල සෝදිසි නිලධාරීන්ද කැඳවා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කුලියාපිටිය පොලිසිය විසින් සිදු කරනු ලබනවා.