
මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි බව කියන රැඳවියන් තිදෙනෙකුගේ
පිළිබඳ තොරතුරු දින ගණනාවක් තිස්සේ අනාවරණය වී නොමැති බව
පවසමින්, සිරකරු අයිතීන් සුරැකීමේ කමිටුව (Committee for Protecting
Rights of Prisoners (Guarantee) සංවිධානය විසින් අතුරුදන් වූ
පුද්ගලයන් පිළිබඳ කාර්යාලය (OMP) වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර
තිබෙනවා.
එම සංවිධානය පවසන්නේ 2026 ජූලි 5 සහ 6 යන දිනවල සිදුවූ සිදුවීම්වලින්
අනතුරුව මෙම රැඳවියන් තිදෙනා පිළිබඳ නිශ්චිත තොරතුරු ලබා ගැනීමට
ඔවුන්ගේ පවුල්වලට හෝ නීතිඥවරුන්ට නොහැකි වී ඇති බවයි.
මේ වන විටත් ඔවුන් රඳවා සිටින ස්ථානය, සෞඛ්‍ය තත්ත්වය හෝ ජීවිත ආරක්ෂාව
පිළිබඳ නිල තොරතුරක් ලබාදී නොමැති බවද එම පැමිණිල්ලේ සඳහන්.
සංවිධානය පෙන්වා දෙන්නේ, 2018 අංක 5 දරණ බලහත්කාරයෙන් අතුරුදන්
කිරීම් වැළැක්වීමේ පනත අනුව රැඳවියන්ගේ ස්ථානය, සෞඛ්‍ය තත්ත්වය සහ
ඔවුන්ගේ ඥාතීන්ට තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් බලධාරීන්ට නීතිමය වගකීම්
පවතින බවයි.
අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය (OMP) වෙත ඉදිරිපත් කළ ඉල්ලීම්
අතර රැඳවියන්ගේ වත්මන් ස්ථානය, ඔවුන් මාරු කළේ නම් ඒ පිළිබඳ විස්තර,
සෞඛ්‍ය තත්ත්වය, අවශ්‍ය නම් පවුලේ සාමාජිකයන් සහ නීතිඥයන් හමුවීමට
අවස්ථාව ලබාදීම සහ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ
කිරීම ඇතුළත් වේ.
එම ලිපියට අනුව, අදාළ රැඳවියන් තිදෙනා සම්බන්ධයෙන් පවුල් සාමාජිකයන්
විසින් බන්ධනාගාර, රෝහල් සහ වෙනත් ආයතන රැසකින් තොරතුරු සොයා
බැලීමට උත්සාහ කළද, නිශ්චිත පිළිතුරක් ලැබී නොමැති බවද සඳහන් කර
ඇත.
එම ලේඛනයේ එක් විදේශීය රැඳවියෙකුගේ ඥාතීන් ද ශ්‍රී ලංකාවේ බලධාරීන්ගෙන්
තොරතුරු ඉල්ලා ඇති බවද දැක්වෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන්ගේ නිල ප්‍රතිචාරය මේ වන විට ප්‍රසිද්ධ වී
නොමැති අතර,අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය (OMP) විසින් පැමිණිල්ල
සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමුව තිබෙනවා.
මෙම සිද්ධිය පිළිබඳ බලධාරීන්ගේ ප්‍රතිචාරය ලැබුණු පසු ඒ අනුව වැඩිදුර තොරතුරු
වාර්තා කිරීමට අපේක්ෂා කෙරෙනවා.