
ඈ කාගෙත් හදවත් දිනූ 'සුදු ආච්චි' නම් විය.
'අයිරාංගනී රොක්සානා මීදෙනිය' නැත්නම් ඔබ කවුරුත් හොඳින් දන්නා හඳුනන ප්‍රවීණ රංගවේදිනී 'අයිරාංගනී සේරසිංහ' අද (09) සිය 99 වැනි උපන්දිනය සමරන්නීය.
ලාංකේය සිනමාවේ විශිෂ්ටතම චරිතාංග නිළියක ලෙස බුහුමනට ලත් ඇය, කාගෙත් හදවත් ස්පර්ශ කරනුයේ 'සුදු ආච්චි' මැයෙනි.
ඒ, “දූ දරුවෝ” නිර්මාණය තුළිනි.
1927 ජුනි මස 9 වැනිදා රුවන්වැල්ල නගරය ආසන්නයේ මූදුගොමුව නම් ගම්මානයේ උපත ලද, 'අයිරාංගනී රොක්සානා මීදෙනිය' 'අයිරාංගනී සේරසිංහ' බවට පත්වන්නේ විවාහයෙන් පසුවයි.
ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙන් ද, බිෂොප් විද්‍යාලයෙන් ද, මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන් ද අධ්‍යාපනය හදාරන ඇය 1947 වර්ෂයේ දී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙයි.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන අවදියේ මහාචාර්ය ඊ. එෆ්. සී. ලියුඩොක්ගේ මඟ පෙන්වීම යටතේ කලාව වැළඳ ගන්නා ඇය චිත්රසේනයන්ගේ ඉගැන්වීම මත දක්ෂ ලෙස නර්තනය ද හදාරයි.
එමෙන්ම ඇයට හෙන්රි ජයසේන හා ධම්ම ජාගොඩ යන පිරිස් සමඟ කලා කටයුතුවල නියැලීමට අවස්ථාව උදා වේ.
ඊට අමතරව බටහිර රංගනය පිළිබඳව ද හදාරමින් ඇය වේදිකා නාට්‍යවලට ද දායක වීම විශේෂය.
ලන්ඩනයේ ද වසර කිහිපයක් කලාව පිළිබඳ හැදෑරූ අයිරාංගනී සේරසිංහයන් අනතුරුව ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදිනියක ලෙස ද, මියුසියස් විද්‍යාලයේ ස්වේච්ඡා ගුරුවරියක් ලෙස ද සේවයට එක්වෙයි.
ඇය රංගන ක්ෂේත්රයට ප්‍රවිෂ්ට වන්නේ මෙරට ජ්‍යෙෂ්ඨතම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ “රේඛාව” සිනමා පටය හරහා යි.
''අපේ අප්පච්චි කැමැති වුණේ නැහැ විශ්වවිද්‍යාලයට යනවාට. ඔහු කිව්වේ ගෑනු ළමයි විශ්වවිද්‍යාලයේ යන්න ඕන නැහැ කියලා. ඒකට විරෝධය පාලා මම දවසක් කන්නේ නැතිව හිටියා. ඒ වගේම අපේ පවුලේ ළඟම ඥාතියෙක් ඩී. එස්. සේනානායක අගමැතිතුමා. ඔහුත් කිව්වා මාව යවන්න කියලා. පසුව අප්පච්චි කැමැති වුණා. ඊට පසු විශ්වවිද්‍යාලයේ නාට්‍ය පිළිබඳව අවුරුදු 3ක් අධ්‍යාපනය ලැබුවා. වේදිකා නාට්‍යවල රඟපෑවා. ඒ නාට්‍ය බලන්න ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා එනවා. මගේ රඟපෑම් දුටු ලෙස්ටර් මහත්තයා ඔහු කළ පළමු වාර්තාගත චිත්‍රපටයට මට ආරාධනා කළා. ඉන්පසුව ඔහුගේ “රේඛාව” චිත්‍රපටයෙන් සිනමාවට සම්බන්ධ වෙන්න ලැබුණා...''
ඇයගේ විවාහය සිදුවන්නේ, වින්ස්ටන් සේරසිංහයන් සමඟිනි. එතැන් පටන් ඇය 'අයිරාංගනී සේරසිංහ' නම් විය.
අයිරාංගනී සේරසිංහයන් රංගන දායකත්වය ලබාදුන් නිර්මාණ රැසකි.
රේඛාව (1950 - කැත්රිනා), සංදේශය (1960), දෙලොවක් අතර (1966), රන් සළු (1967), බක්මහ දීගේ, සාගරයක් මැද, දෙවැනි ගමන, ඉන්දියානා ජෝන්ස් ඇන්ඩ් ද ටෙම්පල් ඔෆ් ඩුම් (Indiana Jones and the Temple of Doom), දඩයම, පොරොන්දුව ,කිනිහිරියා මල්, රෝස කැලේ, සමාරා, සුළඟ අප රැගෙන යාවි ඒ අතරරින් කිහිපයකි.
චිත්‍රපට කලාවට මෙන්ම ලාංකේය ටෙලි නාට්‍ය කලාවට ද ඇය දැක්වූ දායකත්වය සුවිශේෂීය.
1980 වර්ෂයේ “යශෝරාවය” ටෙලි නාට්‍යයේ සුදු හාමිනේගේ චරිතයෙන් ආරම්භ වී 'දු දරුවෝ' 'ගම්පෙරලිය' 'නෑදෑයෝ' 'අම්මයි තාත්තයි' 'සත් පුරවැසියෝ' වැනි ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයකට ම ඇය රංගනයෙන් දායක වී තිබේ.
අදටත් ඇයව කාගෙත් මතකයේ රැඳී ඇත්තේ, ඇය රංගන දායකත්වය ලබාදුන් චරිතවල නමිනි.
'සුදු ආච්චි' 'සුදු හාමිනේ' 'මාතර හාමිනේ' ඉන් විශේෂය.
ඇය සිංහල සිනමාවේ මවගේ චරිතය රඟපෑවා සේ ම නවක කලාකරුවන්ට ද ආදරණීය මවක් විය.
''අපි හැදිලා තියෙන්නේ ස්වභාව ධර්මයෙන්නේ. අපේ මුළු ජීවිතයම ගෙනියන්න වෙන්නේ මේ ස්වභාවධර්මයෙන්. ඒක ආරක්ෂා කළොත් තමයි අපිව රැකෙන්නේ. ඒක වෙනස් කරන්න හැදුවොත් ඒවා විනාශ වෙනවා. එතකොට අපිට ස්වභාවධර්මය පහර දෙනවා.''
ඒ, සොබාදහම ඇසුරින් ජීවිතය ගොඩනඟා ගත් අයිරාංගනී සේරසිංහ නම් පරිසරවේදිනියයි.
ඇයගේ ජීවිතයෙන් නව පරපුරට ගත හැකි ආදර්ශ බොහෝය.
හෙළ කලා කෙත පෝෂණය කිරීමට නොමසුරු දායකත්වයක් ලබාදුන් අසහාය රංගවේදිනිය, ඔබට සුබ සුව ජන්ම දිනයක් වේවායි අපි ප්‍රාර්ථනා කරමු !