
ශ්‍රී ලංකාවේ ළමා හා යොවුන් සංගීත ක්ෂේත්රයට ජාත්‍යන්තර ගෞරවයක් එක් කරමින් වයිට්ලීෆ් ප්‍රසංග කලා ඇකඩමිය (Whyteleafe Academy) සිංගප්පූරුවේ පැවති Singapore International Choral Festival 2026 හි Silver Recognition සම්මානය දිනා ගැනීමට සමත් වී ඇත.
මෙවර 10 වැනි වරට පැවති මෙම ජාත්‍යන්තර උළෙල සඳහා රටවල් 10කින් ගායන කණ්ඩායම් 73ක් ඉදිරිපත්ව සිටි අතර එහිදී වයිට්ලීෆ් ඇකඩමියේ Choir de Whyteleafe කණ්ඩායම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූයේ වයස අවුරුදු 19ට අඩු මිශ්‍ර ගායනා අංශයටයි. 35 දෙනෙකුගෙන් සමන්විත වයිට්ලීෆ් ගායන කණ්ඩායම විසින් ඉංග්‍රීසි හා සිංහල භාෂාවලින් සකස් කළ උසස් මට්ටමේ ඉදිරිපත් කිරීමක් ජාත්‍යන්තර විනිශ්චය මණ්ඩලය අභිමුව ඉදිරිපත් කළහ.
මෙවැනි විශාල ජාත්‍යන්තර කොයර් උළෙලකට සහභාගි වී, Silver Recognition වැනි ගෞරවනීය ජයග්‍රහණයක් ලබා ගැනීම වයිට්ලීෆ් ඇකඩමියේ පමණක් නොව, සමස්ත ශ්‍රී ලංකා යොවුන් කොරල් සංගීත ක්ෂේත්රයේම විසල් ජයග්‍රහණයක් වේ.
මෙම ජයග්‍රහණයට තවත් විශේෂත්වයක් එක් වන්නේ, වයිට්ලීෆ් ඇකඩමිය මේ වසරේ සිය 15 වැනි සංවත්සරය සමරන අවස්ථාවේදී මෙම ජාත්‍යන්තර ගෞරවය හිමි වීමයි.
මේ ජයග්‍රහණය උදෙසා කණ්ඩායමේ අධ්‍යක්ෂණය සහ මග පෙන්වීම වයිට්ලීෆ් ඇකඩමියේ නිර්මාතෘ සහ අධ්යක්ෂ නාලක ස්වර්ණතිලක මහතා විසින් සිදු කරනු ලැබීය. මේ පුහුණු වීම යටතේ දරුවන්ට ජාත්‍යන්තර මට්ටමේ කොරල් පුහුණුව, වේදිකා විනය, හඬ සංයෝජනය සහ සංස්කෘතික නියෝජනය පිළිබඳ විශේෂ අවධානය යොමු කර ඇත.
Choir de Whyteleafe හි Choral Conductor ලෙස තරුණ සංගීතවේදිනී මනෙල්කා පෙරේරා කටයුතු කළ අතර දවුෂලා ලේකම්වසම් සහ ඉමේෂා තත්සරනි ඇතුළු පිරිසක් ගායන පුහුණුවෙන් ද, කවුමදී නානායක්කාර පියානෝ වාදනයෙන් ද, සිත්මි විමලදාස බෙර වාදනයෙන් ද, සජනි රණතුංග හා ඉනාරා ද සිල්වා රංග වින්‍යාසයෙන් ද, ඉනෝකා සුමනසේකර සහ සෙනුලි ඉෂාරා ලියන ආරච්චි නිෂ්පාදන කළමනාකරණයෙන් ද මේ සදාහා දායක විය.
මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් වයිට්ලීෆ් ඇකඩමියේ නිර්මාතෘ සහ අධ්යක්ෂ නාලක ස්වර්ණතිලක මහතා සඳහන් කළේ, “අපගේ ප්‍රධාන අරමුණ වූයේ තරගයක ජයග්‍රහණයක් ලබා ගැනීම නොව, ශ්‍රී ලංකාවේ දරුවන්ට සැබෑ ජාත්‍යන්තර අත්දැකීමක් ලබා දීමයි. ලෝකයේ විවිධ රටවලින් පැමිණි කණ්ඩායම් සමඟ එක්ව වැඩ කිරීම, ජාත්‍යන්තර වේදිකාවක තම හැකියාව ඉදිරිපත් කිරීම, විනය, කණ්ඩායම් හැඟීම, සංස්කෘතික හුවමාරුව සහ ගෝලීය සමාජයක කොටසක් ලෙස හිතන්නට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, දැනුම හා අධ්‍යාපනික අත්දැකීම් ලබා දීම මෙම සංචාරයේ විශාලතම අරමුණක් වුණා” යනුවෙනි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, “මෙම අරමුණ ඉතා සාර්ථකව ඉටු වුණා. අපේ දරුවන් ජාත්‍යන්තර වේදිකාවක තම හැකියාව ඔප්පු කළා පමණක් නොව, තමන්ට ලෝක මට්ටමේ සිහින දැකීමටත් ඒවා ජය ගැනීමටත් හැකි බව විශ්වාස කරන්නට පටන් ගත්තා. Singapore International Choir Festival හිදී ලබාගත් Silver Recognition සම්මානය ඔවුන්ගේ ඉදිරි කලා ගමනේ ඊළඟ මට්ටමට යාම සඳහා අතිශය වැදගත් අධ්‍යාත්මික හා වෘත්තීයමය පියවරක් බව අප විශ්වාස කරනවා”
වයිට්ලීෆ් ඇකඩමියේ මෙම ජාත්‍යන්තර ජයග්‍රහණය, ශ්‍රී ලංකාවේ දරුවන්ට ලෝක වේදිකාව ජයගත හැකි බවට ජීවමාන සාක්ෂියක් වන අතර, අනාගතයේදී තවත් ජාත්‍යන්තර සංගීත හා රංගකලා ජයග්‍රහණ රැසකට මඟ පෙන්වන ප්‍රබල ආරම්භයක් ලෙස ද සැලකිය හැක.