
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් අස්වැසුම ප්‍රතිලාභී පවුල් සවිබලගැන්වීමේ වැඩසටහන් අතර "සුවපහසු නිවසක් – සවිබලැති පවුලක්" තේමාව යටතේ ක්‍රියාත්මක "රන් විමන" නිවාස යෝජනා ක්‍රමය යටතේ ඉදිකරන ලද නිවාස 150ක් ප්‍රතිලාභී පවුල් වෙත ප්රදානය කිරීම ඊයේ (27) දිවයිනේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සිදු කෙරිණි.
ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව අස්වැසුම ප්‍රතිලාභී හා අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීමේ ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක කරනු ලබන්නේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟිනි.
ඒ අනුව එම දෙපාර්තමේන්තුව මඟින් හඳුන්වා දී ඇති සවිබලගැන්වීමේ වැඩසටහන් වේගවත් කිරීම හා සමෘද්ධි නිලධාරීන් දැනුවත් කිරීම සඳහා ජූලි 15 සිට අගෝස්තු 15 දක්වා කාලය "සවිබල මාසය" ලෙස නම් කර ඇති අතර, එම කාලය තුළ "රන් විමන" නිවාස යෝජනා ක්‍රමය යටතේ ඉදිකරන නිවාස 500ක් ප්‍රතිලාභීන් වෙත ප්රදානය කිරීමට ද සැලසුම් කර ඇත.
තවද, 2025–2026 ප්‍රතිපාදන අනුව රුපියල් මිලියන 1,020ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ නිවාස 1,020ක් ඉදිකිරීමට එම දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.