
දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන වරදකරු කරන බව කොළඹ මහාධිකරණය අද (ජූනි 9) නියෝග කළා.
සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර තිබූ නඩුවල තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
ඒ අනුව දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගොනු කර තිබූ නඩු හතරකට වරදකරු කෙරුණු සරණ ගුණවර්ධනට එක් එක් නඩුවට බරපතළ වැඩ සහිත වසර හතර බැගින් කොළඹ මහාධිකරණය සිරදඬුවම් නියම කළා.
ඊට අමතරව මෙම නඩු සඳහා සරණ ගුණවර්ධනට රුපියල් ලක්ෂ 18ක දඩයක් ද අධිකරණය විසින් නියම කළා.
2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම ආයතනයට කුලී පදනම මත වාහන ලබා ගැනීමේදී රජයට පාඩුවක් කිරීම තුළින් "දූෂණය" නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සරණ ගුණවර්ධනට එරෙහිව මෙම නඩුව ගනු කරනු ලැබ තිබුණි.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ, විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම එල්ල කර තිබුණු දූෂණ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට පැමිණිල්ල විසින් ඔප්පු කර ඇති බවයි.
රාජ්‍ය ආයතනවල සිදුවන දූෂණ රටේ ආර්ථිකය කෙරෙහි ද අගතියක් සිදු කරන බවත් ආර්ථිකය බංකොලොත් වීමක් කෙරෙහි මෙවැනි ක්‍රියා බලපෑ බවත් නඩු තීන්දුවේ සඳහන් කර තිබේ.
රාජ්‍ය ආයතනවල සිදුවන මෙවැනි දූෂිත ක්‍රියා එම ආයතන කෙරෙහි පවතින ජනතා විශ්වාසය බිඳ වැටීමට හේතු වන බවත් විනිසුරුවරයා පැවසීය.
මෙම විත්තිකරුට දඬුවම් නියම කිරීමේදී අපරාධ නඩු විධාන සංග්‍රහයේ 303වන වගන්තිය යටතේ ලිහිල්ව කටයුතු කරන ලෙස විත්තිය නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණි.
නමුත් මෙම වරදේ ස්වභාවය පිළිබඳව සලකා බැලීමේදී රාජ්‍ය ආයතනවල සිදුවන දූෂණය අධෛර්යමත් කිරීමට හේතුවන ආකාරයේ දඬුවමක් ලබා දීමට අධිකරණයට සිදුවන බවත් විනිසුරුවරයා ප්‍රකාශ කළේ ය.