
කිරිඳිවැල නාරංගස්පිටිය ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික යුධ හමුදා සෙබලෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් (CID) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස්පතිවරයා වෙත ලැබුණු පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරනු ලැබුවා. එහිදි හෙළිවු තොරතුරු මත ඊයේ (08) දින නිට්ටඹුව පොලිස් වසමේ රණ්පොකුණුගම ප්‍රදේශයේදී මෙම සිද්ධියට අවශ්‍ය කර සිටි ප්‍රධාන සැකකරුවෙකු ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු 47 හැවිරිදි රණ්පොකුණුගම, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අත්අඩංගුවේදී සැකකරු සන්තකයේ තිබී විදේශීය නිෂ්පාදිත පෑනක හැඩයෙන් යුත් කුඩා ගිනි අවියක්, ඒ සඳහා භාවිත කරන පතරොම් 5 ක්, ටී-56 වර්ගයේ පතරොම් 4 ක්, මිලිමීටර් 9 වර්ගයේ පතරොම් 8 ක් සහ බෝර 12 වර්ගයේ පතරොම් 2 ක් විමර්ශන නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් සිදු කරනු ලබන්වා.