
හිටපු අමාත්‍යවරියක වන චන්ද්‍රානි බණ්ඩාර මහත්මියට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා තිබූ දූෂණ නඩුවක් කොළඹ මහාධිකරණය හමුවේ අද (08) විභාගයට ගනු ලැබුවා. කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වුණු අතර, එහිදී නඩුවට අදාළව ඉදිරිපත් වූ සාක්ෂිකාරියකගෙන් විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන් විසින් හරස් ප්‍රශ්න ඇසීම සිදු කරනු ලැබුවා. ඉන් අනතුරුව මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාග කිරීම ලබන ජූලි මස 09 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අධිකරණය නියෝග කළා. 2009 වසරේ ජනවාරි 14 වැනිදා සහ ජනවාරි 31 වැනිදා අතර කාලය තුළ නිසි නීතිමය ක්‍රියාපටිපාටීන් පැහැර හරිමින්, එච්.එම්. චන්ද්‍රවංශ නැමැති අයෙකු වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්යක්ෂවරයා ලෙස පත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරියට චෝදනා එල්ල වී තිබුණා. ඊට අමතරව, තමන්ගේ හිතවතුන් පිරිසක් නීති විරෝධී ලෙස විවිධ තනතුරුවලට බඳවා ගැනීම සඳහා අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට බලපෑම් කිරීම මඟින් දූෂණය නැමැති වරද සිදුකර ඇති බවට පවසමින් අල්ලස් කොමිසම විසින් ඇයට එරෙහිව මෙම අධිචෝදනා ගොනු කර ඇත.