
හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී ඇමරිකානු හමුදාවට අයත් ප්‍රහාරක හෙලිකොප්ටර් යානයක් ඊයේ (ජුනි 08) අනතුරට ලක්ව ඇති අතර, එහි සිටි කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව බේරාගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.
සිදුවීම පිළිබඳව නිලධාරීන් දෙදෙනෙකු උපුටා දක්වමින්, 'ද නිව්යෝර්ක් ටයිම්ස්' (The New York Times) පුවත්පත මේ බව වාර්තා කර තිබිණ.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ ඇමරිකානු හමුදාවේ ප්රබලතම ප්‍රහාරක හෙලිකොප්ටර් වර්ගයක් වන 'Apache' යානයකි.
මෙම යානය කඩා වැටීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ පිළිබඳ විමර්ශන ක්‍රියාත්මකය.
මේ සම්බන්ධයෙන් 'නිව්යෝර්ක් ටයිම්ස්' වෙත අදහස් දක්වා ඇති එක් අයෙකුට අනුව හෙලිකොප්ටරය ඉරාන ප්‍රහාරයකින් වෙඩි තබා බිම හෙළුවා විය හැකිය. නැතහොත් යම් යාන්ත්‍රික දෝෂයකට හෝ වෙනත් ගැටලුවකට මුහුණ දුන්නා විය හැකිය.
මේ අතර අනතුරට ලක් වූ යානයේ සිටි නියමුවන් දෙදෙනාම යහපත් සුවයෙන් පසුවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය වෙත තහවුරු කර තිබේ.
මාධ්‍යවේදීන් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ, "නියමුවන් සුවයෙන් පසුවනවා... අපි මේ සම්බන්ධයෙන් හෙට දිනයේදී නිල වාර්තාවක් නිකුත් කිරීමට බලාපොරොත්තු වනවා, නමුත් නියමුවන්ට කිසිදු කරදරයක් නැහැ," යනුවෙනි.
ඊශ්‍රායලය සහ ඉරානය පසුබසින්නට පෙර ප්‍රහාර හුවමාරු කර ගැනීමත් සමඟ, කලාපය තුළ දින ගණනාවක් තිස්සේ උත්සන්න වෙමින් හා සමනය වෙමින් පැවති සතුරුකම් වලින් පසුව මෙම සිදුවීම වාර්තා වී ඇත.