
දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන වරදකරු කරන බව කොළඹ මහාධිකරණය අද (ජූනි 9) නියෝග කළා.
සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර තිබූ නඩුවල තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
ඒ අනුව දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගොනු කර තිබූ නඩු හතරකට වරදකරු කෙරුණු සරණ ගුණවර්ධනට එක් එක් නඩුවට බරපතළ වැඩ සහිත වසර හතර බැගින් කොළඹ මහාධිකරණය සිරදඬුවම් නියම කළා.
ඊට අමතරව මෙම නඩු සඳහා සරණ ගුණවර්ධනට රුපියල් ලක්ෂ 18ක දඩයක් ද අධිකරණය විසින් නියම කළා.
2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම ආයතනයට වාහන තුනක් කුලී පදනම මත ලබා ගැනීමේදී ඒවායේ හිමිකරුවන්ට වාසියක් සැලසෙන ආකාරයෙන් කටයුතු කරමින් රජයට පාඩු සිදුකිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධන මහතාට විරුද්ධව මෙම නඩුව හතර ගොනුකර තිබුණි.
පළමු නඩුවේ විත්තිකරුට එරෙහිව තිබූ චෝදනා 06ටම විත්තිකරු වරදකරු කෙරුණු අතර, එම එක් එක් චෝදනාවට වසර 04 බැගින් සිර දඬුවම් නියම කළ විනිසුරුවරයා එම සිරදඬුවම් සියල්ල එකවර ගෙවී යන ලෙස ලබා දීමට නියම කරනු ලැබුවා.
දෙවැනි නඩුවේ ද විත්තිකරුට එරෙහිව චෝදනා 06ක් තිබූ අතර ඉන් චෝදනා දෙකකින් විත්තිකරු නිදොස් කොට නිදහස් කළ විනිසුරුවරයා සෙසු චෝදනා 04ට විත්තිකරු වරදකරු කරමින්, එක් එක් චෝදනාවකට වසර 04 බැගින් සිර දඬුවම් නියම කළා.
එම සිරදඬුවම ද එකවර ගෙවී යන ලෙස ලබා දීමට නියම කළා.
තුන්වන නඩුවේ ඉදිරිපත් කර තිබූ චෝදනා 06ටම විත්තිකරු වරදකරු කළ අතර එක් එක් චෝදනාවකට වසර 04 බැගින් සිර දඬුවම් නියම කරමින් එම සිර දඬුවම ද එකවර ගෙවී යන ලෙස ලබා දීමට විනිසුරුවරයා නියම කළා.
පසුව හතරවන නඩුවේ චූදිතට එරෙහිව තිබූ චෝදනා දෙකටම විත්තිකරු වරදකරු කළ විනිසුරුවරයා එම චෝදනා දෙකට ද වෙන් වෙන් වසර හතරක සිර දඩුවම් නියම කළා.
ඒ අනුව විත්තිකරුට වසර 16ක සිරදඬුවම් නියම කෙරුණා.
විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පවසා සිටියේ, රජයේ ආයතන තුළ සේවය කරන රජයේ සේවකයින් සිදුකරන දූෂණ ක්‍රියා ආර්ථික පරිහානියට ලක් වීමට හේතු වී ඇති බවයි.
රජයේ ආයතන කෙරෙහි තිබෙන ජනතා විශ්වාසය මෙවැනි ක්‍රියා හේතුවෙන් බිඳී ගොස් තිබෙන බව කියා සිටි විනිසුරුවරයා එවන් පසුබිමක විත්තිකරු හට දඬුවම් නියෝග ලිහිල් කිරීමක් කළ නොහැකි බව අවධාරණය කරමින් විත්තිකරුට දඬුවම් නියෝග ප්‍රකාශයට පත් කළා.