
අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා නව රජය කාල රාමු තුනක් ඔස්සේ ක්‍රියාත්මක වන පුළුල් ජාතික සැලැස්මක් දියත් කර ඇති බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.
එහි කෙටිකාලීන වැඩපිළිවෙළ යටතේ දැනට පවතින වන අලි වැටවල් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම, අත්‍යවශ්‍ය ස්ථාන සඳහා නව විදුලි වැටවල් ඉදි කිරීම, වන අලි ගම්වැදීමේදී ගම්වැසියන් කඩිනමින් දැනුවත් කිරීමේ පූර්ව අනතුරු ඇඟවීමේ තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දීම සහ වනජීවී නිලධාරීන්ගේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන ජංගම මුර සංචාර ශක්තිමත් කිරීම සිදු කෙරේ.
මධ්‍යකාලීන වැඩපිළිවෙළ යටතේ ප්‍රජා සහභාගීත්වය ඇතිව ක්‍රියාත්මක වන "ගම්මාන වටා ඉදිවන විදුලි වැටවල්" ප්‍රචලිත කිරීමටත්, අලි-මිනිස් ගැටුමෙන් පීඩාවට පත්වන ජනතාව වෙනුවෙන් ලබාදෙන වන්දි ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂම සහ ඉහළ අගයක් ගන්නා සේ සංශෝධනය කිරීමටත් පියවර ගැනේ.
දිගුකාලීන තිරසාර විසඳුම් ලෙස මෙරට ඉඩම් පරිහරණ ප්‍රතිපත්තිය (Land Use Policy) නැවත සමාලෝචනය කර වනජීවී කලාප සහ මානව ජනාවාස වෙන් කෙරෙන විද්‍යාත්මක මායිම් සලකුණු කිරීමටත්, ලංකාවේ සියලුම අලිමංකඩවල් නීත්‍යානුකූලව ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීමටත්, Drone සහ චන්ද්‍රිකා තාක්ෂණය වැනි නවීන මෙවලම් උපයෝගී කරගනිමින් වන අලි ගහනය සහ ඔවුන්ගේ හැසිරීම් රටා නිරන්තර නිරීක්ෂණයට ලක් කිරීමටත් සැලසුම් කර ඇත.
වන අපරාධ සම්බන්ධයෙන් 1995 ඒකාබද්ධ වන සුරැකුම මධ්‍යස්ථානය ද විවෘතව පවතී.
වන අලින්ගේ පැවැත්මත්, අපේ රටේ ජනතාවගේ ජීවත්වීමේ අයිතියත් යන දෙකම සමබරව ආරක්ෂා කරමින්, අතීතයේ සිදු වූ වැරදි නිවැරදි කරමින් ඉදිරියටත් මෙවැනි ප්‍රායෝගික තීන්දු තීරණ ගැනීමට ඉදිරියේ දී ද නව රජය කටයුතු කරනු ලබයි.